කඩොලාන

හැදින්වීම

ලෝකයේ කඩොලාන වලින් 40% ක් පමණ ආසියාව තුළ ව්‍යාප්ත වී ඇත. එමෙන්ම පසුගිය දශකය පුරාවට ලෝකයේ වැඩිම කඩොලාන විනාශයක් වාර්ථා වී ඇත්තේද ආසියාවෙනි. ශ්‍රී ලංකාව සැලකූ විට, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ හෙක්ටයාර් 6000-7000 ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි කඩොලාන පරිසර පද්ධතිය පැතිර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම කඩොලාන පද්ධතිය පුත්තලම කලපුව - ලන්දේසි බොක්ක - පෘතුගාල බොක්ක ආශ්‍රිතව හෙක්ටෙයාර් 3385 ක පමණ භූමි ප්‍රදේශයක් තුළ පිහිටා ඇත. ඉතිරි වනාන්තර වලින් බොහෝමයක් මඩකළපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල ව්‍යාප්තව ඇත. සංචාරක කර්මාන්තයේ අධික වර්ධනය හේතුවෙන් බෙන්තොට ප්‍රදේශයේ කඩොලාන වනාන්තර විශාල වශයෙන් තර්ජනයට ලක්ව ඇත.

අති විශාල පාරිසරික හා ආර්ථික වටිනාකමක් තිබුණද, මේ වන විට වාණිජ, කාර්මික හා නිවාස අවශ්‍යතා සඳහා කඩොලාන වනාන්තර විශාල ලෙස විනාශයට ලක්වෙයි. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ කඩොලාන සතු පරිසර විද්‍යාත්මක කාර්යභාරය පිළිබඳ දැනුම අදාළ වගකිව යුතු ප්‍රජාවන් සතුව නොතිබීමයි. වර්ථමානයේ කඩොලාන සම්බන්ධ සංරක්ෂණ හෝ තිරසාර කළමණාකරනය සම්බන්ධයෙන් අවධානය යොමු නොවීම නිසා කාර්මික, නාගරික, සංචාරක නිකේතන, මාර්ග, ජලජීවී උද්‍යාන සහ ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා නොසැලකිලිමත් ලෙස සිදුවන පිරිසිදු කිරීම් හා ගොඩකිරීම් හේතුවෙන් බොහෝමයක් කඩොලාන ප්‍රදේශ විනාශ වී ඇත. වන සංරක්ෂණ දෙපාර්තෙම්න්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තෙම්න්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තෙම්න්තුව කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණ කිරීම සඳහා ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන වේ.

කඩොලාන පරිසර පද්ධති අධික ලවණතාවයන්ට, අධික ආලෝක තත්වයන්ට, පහල ඔක්සිජන් මට්ටම් වලට සහ තද සුළං තත්වයන්ට නිරන්තරයෙන් නිරාවරණය වේ. කඩොලාන පරිසර පද්ධතිය, ආන්තික පාරිසරික තත්වයන්ට කොතරම් නිරාවරණය වුවද එය ශ්‍රී ලංකාව තුළ ඇති වඩාත් ඵලදායී තෙත් පරිසර පද්ධතිවලින් එකකි. මෙම දුෂ්කර තත්වයන් තුළ ජීවත් වීමට සහ කඩොලාන ආශ්‍රිත ජීවීන් සඳහා නවාතැන් ලබා දීම සඳහා මෙහි ඇති ශාක වලට අතිවිශිෂ්ඨ අනුවර්තනයන් ඇත.

මෙම අනුවර්තනයන්ගෙන් සමහරක්:
  • වායුගෝලීය ඔක්සිජන් අවශෝෂණය කිරීම සඳහා වායුධර මුල් පැවතීම.
  • මෘදු පසට තදින් සවිවීමට සහ ශාකයට අවශ්‍ය සංධාරනය ලබාදීම සඳහා කරු මුල්, නැංගුරම් මුල් හා දණහිස් මුල් පැවතීම.
  • මෙම ශාක බීජ මව් ශාකයට සම්බන්ධව තිබියදීම මුල් සහ රිකිලි තනන තෙක් බීජ වර්ධනය වීමට ඉඩ සලසා දෙයි. (viviparity)

කඩොලාන ජෛව විවිධත්වය

කඩොලාන යනු පොහොසත් හා විවිධත්වයකින් යුක්ත ස්වාභාවික සම්පතකි. මෙය අද්විතීය ජෛව විවිධත්වයකින් යුක්ත වේ. සාගර හා භෞමික පරිසර පද්ධති අතර සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා කඩොලාන පරිසර පද්ධති ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. මෙම සබඳතාවය කොරල් හා මුහුදු තනබිම් වැනි වෙරළ ආශ්‍රිත පරිසර පද්ධති වල ස්ථායීතාව පවත්වා ගැනීමටද උපකාරී වේ.

වෙරළබඩ සහ කලපු මත්ස්‍ය කර්මාන්තය සඳහා ද මෙම කඩොලාන පරිසර පද්ධතිය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කඩොලාන පරිසරයෙන් නිපදවෙන අපද්‍රව්‍ය, පෝෂක ලෙස කලපු ජලයට එකතු වන අතර එම පෝෂක උදම් රළ මඟින්  වෙරළ තීරයට ගෙන යනු ලබයි. සාගර ක්ෂුද්‍ර ජීවීන් මෙම පෝෂක ආහාර ලෙස භාවිතා කරන අතර, එය මුහුදු ආහාර දාමයේ පළමු පියවර වේ. මෙම තෙත් බිම්වල අවට ඇති නොගැඹුරු අන්තර් උදම් රළ කලාපය බොහෝ මත්ස්‍යයන්ගේ කුඩා අවධීන්, කකුළුවන්, ඉස්සන් සහ මොලූස්කාවන් සඳහා ආරක්ෂිත වාසස්ථානයක් ලෙස ක්‍රියාකරයි.

කඩොලාන, සංක්‍රමණික කුරුලූ විශේෂ සිය ගණනක් සඳහා වාසස්ථාන සපයයි. මීට අමතරව වඳුරන්, දිවියන්, කබරයන්, මුහුදු කැස්බෑවන් සහ mudskipper මත්ස්‍යයන් මෙම තෙත් බිම් භාවිතා කරයි.

මෙම සුවිශේෂී පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ සත්‍ය කඩොලාන විශේෂ 20 කට වඩා වැඩි ගණනක් සඳහා වාසස්ථාන සපයයි.. මෙම විශේෂයන් නියෝජනය කරන ප්‍රධාන ගණයන් වන්නේ Avicennia, Rhizophora, Bruguiera සහ Sonneratia යි. කඩොලාන බහුලතාවය සහ ව්‍යාප්තිය අනුව ඒවා, ඉතා සුලභ;  සුලභ සහ දුර්ලභ ලෙස වර්ගීකරණය කළ හැකිය.

ශ්‍රී ලංකාවේ ඉතා සුලභ කඩොලාන ශාක විශේෂ වන්නේ, 

  • මණ්ඩ (Avicennia marina), 
  • මල් කඩොල් (Bruguiera gymnorrhiza), 
  • තෙල (Excoecaria aggalocha), 
  • බෑරිය (Lumnitzera racemosa), 
  • මහ කඩොල් (Rhizophora mucronata / Rhizophora apiculata), 
  • කිරළ (Sonneratia caseolaris) යි. 

මෙම ශාක වලට ඉතා පුලුල් පරාසයක විහිදුනු පාංශු හා ජල තත්ව යටතේ වර්ධනය විය හැකි නිසා සෑම කඩොලාන වනාන්තරයකම මෙම ශාක ඉතා බහුල ලෙස දැකගත හැකිය.

කඩොලාන විශේෂ අතුරින් සුලභ කාණ්ඩයට අයත් වන්නේ, 

  • හීන් කඩොල් (Aegiceras corniculatum), 
  • Avicennia officinalis
  • Bruguiera cylindrica
  • Bruguiera sexangula
  • Ceriops tagal
  • එථුන (Heretiera littoralis), 
  • Pemphis acidula
  • Sonneratia alba
  • ගිං පොල් (Nypa fruticans) ය. 

මෙම ශාක ශ්‍රීලංකාව තුළ පුලුල් ලෙස ව්‍යාප්තව තිබුණද, ඒවයේ ගහණ ඝණත්වය සාපේක්ෂව අඩුය.

ශ්‍රී ලංකාව තුළ ඉතා සුලු ගහණ ඝණත්වය ඇති නිසාත්, ප්‍රදේශ කිහිපයක පමණක් දැකගත හැකි නිසාත් කඩොලාන ශාක විශේෂ කිහිපයක් දුර්ලභ කාණ්ඩයට අයත් වේ. 

  • Lumnitzera littorea
  • මට්ටි කඩොල් / මුට්ටි කඩොල් (Xylocarpus granatum
  • Scyphiphora hydrophyllaceae 

මෙම ශාක විශේෂ වේ.

මෙම වනාන්තර භෞමික සත්ව විශේෂ රැසක් සඳහා වාසස්ථාන සපයයි. මෙහි ඉතා ආකර්ෂණීය ජල හා වෙරළබඩ පක්ෂීන් දැකගත හැක. කඩොලාන පරිසරයෙහි ජීවත්වන සත්වයන්, සරල ප්‍රොටොසෝවන්ගේ සිට කුරුල්ලන්, උරගයන් සහ ක්ෂීරපායීන් දක්වා පුලුල් පරාසයක ව්‍යාප්තව ඇත. සමුද්‍ර ජීවීන්ගෙන් සමහරක්, අවම වශයෙන් ජීවන චක්‍රයේ එක් අවධියක් හෝ මෙම පරිසර පද්ධතියේ ගත කරයි. ශ්‍රී ලංකාව තුළ කඩොලාන සත්ව විශේෂ සංයුතිය සහ විවිධත්වය තවමත් වෙන් වෙන් වශයෙන් අ ධ්‍යනය කර නොමැත.

කඩොලාන ආශ්‍රිත කකුළුවන් විශේෂ පහක් සහ ඉස්සන් විශේෂ පහක් හඳුනාගෙන ඇත. මඩ පොකිරිස්සා (Thalassina anomala) කඩොලාන පරිසරයට සුවිශේෂී වේ. මෙම පොකිරිස්සා කඩොලාන පරිසරය තුළ ඉතා පහසුවෙන් දැකගත හැකිය. කුරුල්ලන් මෙම කඩොලාන පරිසර පද්ධතිය ආශ්‍රිත වඩාත් ආකර්ෂණීය පෘෂ්ඨවංශීන් වේ. කෙටිකාලීන වාසස්ථානවල දැකිය හැකි වඩාත් සුලභ පක්ෂීන් වන්නේ, 

  • Herons, 
  • Egrets, 
  • Cormorants, 
  • Teals, 
  • Waders, 
  • Kingfishers, 
  • Terns 

යන විශේෂයන්ය.

කබරයන් (Varanus salvator) යනු කඩොලාන ආශ්‍රිත බහුලව දක්නට ලැබෙන උරග විශේෂයයි. 

  • Estuarine Crocodile (Crocodylus porosus
  • Mugger Crocodile (Crocodylus palustris

යන කිඹුලන් විශේෂ දෙකද ශ්‍රී ලංකාවේ කඩොලාන ආශ්‍රිතව දක්නට ලැබේ. මේ ආශ්‍රිත අනෙකුත් සුලභ උරගයන් වන්නේ, 

  • Common Bronzeback (Dendrelaphis tristis), 
  • Checkered Keelback (Xenochrophis piscator
  • Common garden lizard (Calotes calotes).

කඩොලාන ආශ්‍රිත ක්ෂීරපායින් ලෙස,  

  • Purple-faced Leaf Monkey (Trachypithecus vetulus), 
  • Sri Lanka Golden Palm Cat (Paradoxurus zeylonensis)
  • Sri Lanka Slender Loris (Loris tardigradus

හැදින්විය හැක. 

කඩොලාන වාසස්ථාන කරගත් මාංශ භක්ශක ක්ෂීරපායි සතුන් ලෙස, 

  • Fishing Cat (Prionailurus viverrinus),
  • Eurasian Otter (Lutra lutra

වැනි විශේෂ සැලකේ. 

මෙම ක්ෂීරපායින්ට අමතරව වවුලන් හා කුඩා මීයන් විශේෂ කිහිපයක්ද දැකිය හැකිය.

කඩොලාන ආශ්‍රිත මත්ස්‍යයන්, කඩොලාන ජෛව විවිධත්වයේ ඉතා වැදගත් කොටසකි. කඩොලාන ආශ්‍රිතව ප්‍රධාන මත්ස්‍යයන් වර්ග තුනක් දැකිය හැකිය. ඒ මිරිදිය මත්ස්‍යයන්, කිවුල් දිය මත්ස්‍යයන් සහ සමුද්‍ර - කිවුල් දිය  සංක්‍රමණික මත්ස්‍යයන් විශේෂයන්ය. 

මිරිදිය මත්ස්‍ය විශේෂ වන්නේ, 

  • Striped Rasbora (Rasbora daniconius), 
  • Giant Danio (Danio malabaricus), 
  • Horandandiya (Horadandiya athukorali), 
  • Barbs (Puntius spp.)
  • Walking Catfish (Clarias brachysoma) ය. 

මෙම විශේෂයන් සාපේක්ෂ අඩු ලවණතාවක් සහිත මෝයවල් ආශ්‍රිතව කලාප වල නිරීක්ෂණය කළ හැක. 

කිවුල් දිය මත්ස්‍යයන් වන්නේ, 

  • ambassids (Ambassis spp.), 
  • Pony fish (Leiognathus spp.), 
  • Mono (Monodactylus argenteus), 
  • Target fish (Therapon jabua), 
  • Mud skipper (Periopthalmus koelrenteri)
  • Milk fish (Chanos chanos). 

“catadromous” සංක්‍රමණික විශේෂ කීපයක් (ප්‍රජනනය සඳහා මිරිදිය ජලාශ වල සිට ලවණ සහිත සාගර කලාප දක්වා සංක්රමණය වන විශේෂ) සහ “anadromous” සංක්‍රමණික විශේෂ කීපයක් (ප්‍රජනනය සඳහා ලවණ සහිත සාගර කලාප වල සිට මිරිදිය ජලාශ දක්වා සංක්රමණය වන විශේෂ) මෙහි දැකගත හැක. 

catadromous විශේෂ වශයෙන්, 

  • Short-finned Eel (Anguilla bicolor)

anadromous විශේෂ වශයෙන්, 

  • Snappers (Lutjanus spp.), 
  • Trevally (Caranx spp.), 
  • Silver Beddy (Gerres spp.), 
  • Surgeon fish (Acanthurus spp.)
  • Barracuda (Sphyraena spp.

හැදින්විය හැක.

කඩොලාන විනාශය

පසුගිය දශකය තුළ සිදු වූ වනාන්තර විනාශය පිළිබඳ වැදගත් හේතුන් අතරින් එකක් වන්නේ "ඉස්සන්" සඳහා වන ඉල්ලූම ඉහල යාම සහ අපනයනික ඉස්සන් වගාව ආශ්‍රිතව විනාශකාරී නිෂ්පාදන ක්‍රම අනුගමනය කිරීමයි. ශ්‍රීලංකාවේ වයඹ දිග වෙරළ තීරයේ වෙරළබඩ ගොවිපලවල් පිහිටුවීම සඳහා කඩොලාන වනාන්තර විශාල සංඛ්‍යාවක් ඉවත් කර ඇත. කාර්මික ඉස්සන් වගාව පිළිබඳ කනගාටුදායක සිද්ධියක් වන්නේ මෙම ක්‍රියාවලිය ජල දූෂණයට මූලාශ්‍රයක් වී තිබීමයි. ප්‍රතිජීවක, පළිබෝධනාශක සහ ජලයේ ගුණාත්මක බව වැඩි කිරීම සඳහා යොදන රසායනික යෙදවුම් නිතර නිතර භාවිතයට ගැනීම, භාවිතයට නොගන්නා ලද ආහාර සහ අසූචි පොකුණු වල පත්ලේ එකතු වී විෂ සහිත වීම හේතුවෙන් ඉස්සන් අතර වසංගත පැතිරීම නිසා බොහෝ මුල් පොකුණු වසා දැමීමට සිදු විය.

කඩොලාන ප්‍රදේශ වල මානව ජනාවාස, ශ්‍රී ලංකාවේ සමස්ථ වෙරළ තීරය ආවරණය වන පරිදි ව්‍යාප්ත වී ඇත. මෙම ජනාවාස ප්‍රදේශ ප්‍රධාන වශයෙන් ස්ථීර හා තාවකාලික ධීවර ගම්මාන වලින් සමන්විත වේ. මෙම ජනාවාස මඟින් බැහැර කරන අපද්‍රව්‍ය, කඩොලාන පරිසර පද්ධතිය දූෂණය කෙරෙහි සෘජුවම දායක වේ. සංචාරක කර්මාන්තයේ උන්නතිය හා කෘෂිකාර්මික කටයුතු සඳහා මේ වන විට කඩොලාන ප්‍රදේශ යළි ගොඩ නගමින් තිබේ. කඩොලාන බිම්වලින් කුඩා ප්‍රතිශතයක් වෙරළබඩ ප්‍රජාවන් විසින් නීති විරෝධී අයුරින් අත්පත් කරගෙන ඇත. මේ පිළිබඳව තවමත් බලධාරීන්ගේ අවධානය නිසි ලෙස යොමු නොවීම කණගාටුවට කරුණකි.

කඩොලාන සංරක්ෂණය

කඩොලාන; වන විනාශය, දූෂණය හා ඉඩම් ගොඩකිරීමට ඉතා සංවේදී වේ. විවිධ හේතූන් නිසා පසුගිය දශක දෙක තුළ කඩොලාන පරිසර පද්ධති සැලකිය යුතු ලෙස විනාශ වී තිබේ. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ කඩොලාන පරිසරය තුළ හා ඒ අවට සිදුවන, තිරසාර නොවන මානව ක්‍රියාකාරකම් වල බලපෑමයි. ජලජීවී වගාව, කෘෂිකාර්මික ව්‍යාප්තිය, නාගරීකරණය, ජල දූෂණය, අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සහ අනවසර අල්ලා ගැනීම මෙම සුවිශේෂී පරිසර පද්ධතියට ඇති ප්‍රධාන තර්ජන කිහිපයක් වේ. අද වන විට කඩොලාන පරිසර පද්ධතිය බරපතල තර්ජනවලට මුහුණ දී ඇති අතර, මෙම සංවේදී පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ ජාතික අවශ්යතාවයක් පවතී. කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම හා එහි අද්විතීය ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම මේ සඳහා ඇති යෝග්‍යතම විසඳුමයි.

කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීම

සුනාමි ව්‍යසනයෙන් මෙම වෙරළබඩ පරිසර පද්ධතියට සිදුවූ විනාශය, වෙරළබඩ ප්‍රජාවගේ ජීවනෝපායන් මත දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් විය. සුනාමිය මඟින් නැගෙනහිර සහ දකුණු වෙරළබඩ කඩොලාන පරිසර පද්ධතියට සිදුවූ විනාශය ප්‍රමාණාත්මකව ඇස්තමේන්තු කිරීම තවමත් අවසන් කර නොමැත.

කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීම යනු පෙර පැවති ප්‍රදේශයන්හි කඩොලාන වාසස්ථාන නැවත ඇති කිරීමයි. කෙසේ වෙතත්, වෙනත් වගාවන් සමඟ සැසඳීමේදී, කඩොලාන ශාක වර්ධනය කිරීමට විශේෂ පාරිසරික තත්ත්වයන් අවශ්‍ය වේ. කඩොලාන පරිසර පද්ධතිය නැවත ස්ථාපිත කිරීම සඳහා බොහෝ ක්‍රමවේදයන් සකස් කර තිබුණත්, එම ක්‍රමවේදයන් ප්‍රදේශයේ විශේෂිත අවශ්‍යතාවලට උචිත අයුරින් වෙනස් කිරීම ඉතා වැදගත් වේ.

කඩොලාන ප්‍රතිස්ථාපනය සඳහා ප්‍රජාව පදනම් කර ගත් ප්‍රතිස්ථාපන ක්‍රම බහුලව භාවිතා වේ. කඩොලාන අවට මසුන් ඇල්ලීමේ යෙදී සිටින දේශීය ප්‍රජාවන් සාමාන්‍යයෙන් අමුද්‍රව්‍ය හා සේවා සඳහා කඩොලාන වනාන්තර මත යැපෙන බැවින් කඩොලාන වනාන්තරයේ වැදගත්කම ගැන සාමාන්‍යයෙන් දැනුවත්වය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විවිධ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.


දේශීය ප්‍රජාව කඩොලාන පරිසර පද්ධතීන් හා ඔවුන්ගේ ජීවිත අතර සම්බන්ධතා පිලිබඳව හොඳින් දැනුවත් නිසා, කඩොලාන වගා කිරීමේ සාර්ථකත්වය ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ දැනුම රට තුළ වෙසෙන වෙනත් ප්‍රජාවන් සමඟ හුවමාරු කර ගැනීමට ඉඩ සලසා දිය යුතුය.

විනාශ වී ගිය කඩොලාන වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය කරමින්, අපට ඉතිරිව ඇති කඩොලාන සම්පත ආරක්ෂා කරගනිමින් එය රටෙහි තිරසාර සංවර්ධනය සඳහා යොදාගැනීම අප සියල්ල සතු වගකීමකි.



Comments

Popular posts from this blog