ඩොල්ෆින්


හැදින්වීම

ඩොල්ෆින් යනු සිටේසියා කුලයේ ජලජ ක්ෂීරපායින් හඳුන්වන පොදු නමකි. ඩොල්ෆින් ලෙස නම් කර ඇති විශේෂ 40 ක් පමණ දැනට ලෝකයේ ඇත. ඩොල්ෆින් ප්‍රමාණයෙන් මීටර් 1.7 (අඩි 5.6) සහ කිලෝග්රෑම් 50 (රාත්තල් 110) සිට මීටර් 9.5 (අඩි 31) සහ ටොන් 10 පමණ වන Killer whale වැනි විශේෂ දක්වා විහිදේ. විශේෂ කිහිපයක්ම ලිංගික ද්විමානකරණය පෙන්නුම් කරයි. එනම් පිරිමි සතුන් ගැහැණුන්ට වඩා විශාලය. ඔවුන් සතුව අනාකූල හැඩැති සිරුරක් සහ ෆ්ලිප්පර් ලෙස විකරණය වූ ගාත්‍රා ඇත. සමහර ඩොල්ෆින් සතුන්ට පැයට කිලෝමීටර 55.5 ක පමණ වේගයකින් ගමන් කළ හැකිය. ඔවුන් හට දියුණු ශ්‍රවණයක් ඇති අතර එය වාතය සහ ජලය යන දෙකටම අනුවර්තනය වී ඇත. සමහර විශේෂ ඉතා ගැඹුරට කිමිදීම සඳහා හොඳින් අනුගත වේ. සීතල ජලයේ දී දේහය උණුසුම්ව තබා ගැනීම සඳහා සමට යටින් ඝන මේද තට්ටුවක් ඇත. දේශගුණය අනුව එහි ඝනකම වෙනස් වේ. තවද එය ඔවුන්ගේ උත්ප්ලාවකතාවය පවත්වා ගැනීම සඳහා වැදගත් වේ.

ඩොල්ෆින් සතුන් ලෝකය පුරා බහුලව ව්‍යාප්තව සිටියද, බොහෝ විශේෂයන් නිවර්තන කලාපවල උණුසුම් ජලයට වැඩි කැමැත්තක් දක්වයි. නමුත් සමහර විශේෂ සිසිල් දේශගුණයට වැඩි කැමැත්තක් දක්වයි.

ආහාර විලාශය

ඩොල්ෆින් බොහෝ දුරට මාළු හා දැල්ලන් ආහාර වශයෙන් යොදාගනියි. නමුත් Killer whale වැනි විශේෂ කිහිපයක්, සීල් වැනි විශාල ක්ෂීරපායින් ආහාර ලෙස යොදාගනියි. වේගයෙන් ගමන් කරන ගොදුර අල්ලා ගැනීමට ඩොල්ෆින් සතුන් ඔවුන්ගේ කේතුක හැඩැති දත් භාවිතා කරයි.  ඩොල්ෆින් සතුව කුටීර දෙකකින් යුත් ආමාශයක් ඇති අතර එය භූමිවාසී මාංශ භක්‍ෂකයන්ට සමාන වේ.

ප්‍රජනනය

ලිංගික පරිණතභාවය සිදුවන වයස, විශේෂය හා ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස් වේ. පිරිමි ඩොල්ෆින් සාමාන්‍යයෙන් සෑම වසරකම ගැහැණු සතුන් කිහිප දෙනෙකු සමඟ සංසර්ගයේ යෙදෙන නමුත්, ගැහැණු සතුන් සංසර්ගයේ යෙදෙන්නේ වසර දෙකකට හෝ තුනකට වරක් පමණි. ගර්භණී කාලය විශේෂ සමඟ වෙනස් වේ. පැටවුන් සාමාන්‍යයෙන් වසන්ත හා ගිම්හාන මාසවල උපත ලබන අතර ගැහැණු සතුන්, පැටවුන් ඇති දැඩි කිරීමේ සියලු වගකීම දරයි. 

සමාජ හැසිරීම

ඩොල්ෆින් යනු ඉහළ සමාජමය හැසිරීමක් දක්වන සතුන් වන අතර, බොහෝ විට සතුන් දුසිමක් දක්වා වූ කණ්ඩායම් ලෙස වාසය කරයි. ආහාර බහුල ස්ථානවල, මෙම කණ්ඩායම් බොහෝ ප්‍රමාණයක් එක්ව වාසය කරයි; එවැනි කණ්ඩායම් තුළ ඩොල්ෆින් සතුන් 1,000 ඉක්මවිය හැක. කණ්ඩායම් තුළ සාමාජිකත්වය දැඩි නොවේ; අන්තර් හුවමාරුව පොදුය. කෙසේ වෙතත්, ඩොල්ෆින් සතුන්ට ශක්තිමත් සමාජ බැඳීම් ඇති කළ හැකිය; ඔවුන් තුවාල වූ හෝ රෝගාතුර වූ සතුන් සමඟ රැඳී සිටින අතර, අවශ්‍ය නම් මතුපිටට ගෙන ඒමෙන් හුස්ම ගැනීමට පවා උදව් කරයි. සාමාන්‍යයෙන් ඩොල්ෆින් සතුන් හට විවිධාකාර හඬවල් නිපදවීමේ හැකියාවක් ඇත.

මිනිසා සහ ඩොල්ෆින්

අතීතයේ සිටම ලොව පුරා විවිධ සංස්කෘතීන් තුළ ඩොල්ෆින් නිරූපණය කර ඇත. තවද බොහෝ සාහිත්‍ය කෘති සහ චිත්‍රපට සඳහා ද ඩොල්ෆින් පාදක කරගෙන ඇත. ඩොල්ෆින් සතුන් විවිධ උපක්‍රම සිදු කිරීම සඳහා පුහුණු කරනු ලැබේ. මේ සඳහා බහුලව යොදාගනු ලබන්නේ Bottle nose dolphin ය. සාමාන්‍යයෙන් ඩොල්ෆින් පෘථිවියේ වෙසෙන වඩාත්ම බුද්ධිමත් සතුන්ගෙන් එකක් ලෙස සැලකේ.

ඩොල්ෆින් සතුන් හට ඇති තර්ජන

ඩොල්ෆින් හට සතුරන් සිටින්නේ ස්වල්පයක් පමණි. කුඩා ඩොල්ෆින් විශේෂ බොහොමයකගේ පැටවුන් සඳහා, Bull shark, Dusky shark, Tiger shark සහ Great white shark වැනි විශාල මෝරුන්ගෙන් අවදානමක් ඇත. ඩොල්ෆින් ද විවිධාකාර රෝග සහ පරපෝෂිතයන්ගෙන් පීඩා විඳිති.

සමහර ඩොල්ෆින් විශේෂ වඳවීමේ අවදානමට ලක්ව ඇත. විශේෂයෙන් ඇමසන් ගංඟා ඩොල්ෆින් සහ බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇති ගංගා (ගංගා නම් ගඟ) සහ යැංසි ගංඟා ඩොල්ෆින් මේ අතර වේ. 2006 දී කරන ලද සමීක්ෂණයකින් යැංසි ගංඟා ඩොල්ෆින් හි කිසිදු සත්වයෙකු හමු නොවූ අතර එය දැන් වඳ වී ගොස් ඇති බව පෙනේ.

ජපානය වැනි රටවල ඩොල්ෆින් දඩයම් කිරීම ඉතා සුලභව දැකගත හැකිය. මෙම දඩයම් කිරීමට අමතරව, ඔවුන් වෙනත් මසුන් ඇල්ලීම සඳහා යොදන දැල් වලට හසුවීම, වාසස්ථාන අහිමි වීම සහ සමුද්‍ර දූෂණය වැනි තර්ජනයන්ටද මුහුණ දෙයි. පළිබෝධනාශක, බැර ලෝහ, ප්ලාස්ටික් සහ පරිසරයේ වේගයෙන් විසිරී නොයන කාර්මික හා කෘෂිකාර්මික දූෂක ද්‍රව්‍ය ඩොල්ෆින් වැනි විලෝපිකයන් තුළ සංකේන්ද්‍රණය වේ. බෝට්ටු සමඟ ගැටීමෙන් සිදුවන තුවාල හෝ මරණ ද ඩොල්ෆින් ගහණය පහල යාම සඳහා හේතු වී ඇත.

ඩොල්ෆින් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර

ඩොල්ෆින් ආරක්ෂිත ලේබල් මගින් මාළු සහ අනෙකුත් සමුද්‍රීය නිෂ්පාදන ඩොල්ෆින් හිතකාමී ලෙස නිෂ්පාදනය කර ඇති බව පාරිභෝගිකයින්ට සහතික කිරීමට උත්සාහ කරයි. සමුද්‍ර ක්‍රියාකාරීන් සහ ප්‍රධාන ටූනා සමාගම් අතර සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස "ඩොල්ෆින් සේෆ්" ලේබල් සහිත මුල්ම ව්‍යාපාර 1980 ගණන්වලදී ආරම්භ කරන ලදී. මෙමගින් ඩොල්ෆින් මරණ ප්‍රමාණය 50% කින් පමණ අඩුවිය.

Comments

Popular posts from this blog