මුහුදු කැස්බෑවන්


හැඳින්වීම.

කැස්බෑවන් යනු උරග කාණ්ඩයට අයත් ජීවීන් විශේෂයකි. මොවුන් අනෙකුත් උරගයින් සේම චලතාපී, පෙනහලු මගින් ශ්වසනය කරන සත්වයන් කොට්ඨාශයකි. කැස්බෑවන්ගේ දේහය සැලකූ විට, ඔවුන් බාහිර ඝන කවචයකින් යුක්ත වේ. ඉබ්බන්ගේ දේහයට සමාන දේහයකට යුක්ත වුව ද මොවුන් හට හිස හා ගාත්‍රා කවචය තුළට ගැනීමට හැකියාවක් නොමැත. තවද මොවුන්ගේ ගාත්‍රා පිහිනීම සඳහා අනුවර්තනය වී ඇත. ඉදිරි ගාත්‍රා යුගලය දිගැටි වන අතර පත්තක හැඩයක් ගනියි. පසුපස ගාත්‍රා යුගලය කෙටිය. පිහිනීමේ දී දේහය හැරවීම සඳහා භවිතා කරයි.

දැනට ලෝකයේ කැස්බෑවන් විශේෂ හතක් ජීවත් වේ. ඔවුන් පවුල් දෙකකට බෙදා වෙන්කල හැකිය.
  • Cheloniidae
  • Dermocheliidae

Cheloniidae පවුලට අයත් කැස්බෑවන් විශේෂ හයක් ඇති අතර මොවුන් වෙන්කිරීමේ ප්‍රධාන සාධකය වන්නේ ඝන කවචයක් පිහිටීමයි.
  • Olive ridley, 
  • Green turtle, 
  • Loggerhead turtle, 
  • Hawksbill turtle, 
  • Leatherback turtle.
               යන විශේෂ හය Cheloniidae පවුලට අයත් වේ.

Dermocheliidae පවුලට අයත් කැස්බෑවන්ගේ කවචය එතරම්ම දෘඩ නොවන අතර ඝන සමක ස්වාභාවයක් ගනියි.
  • Leatherback turtle
               යන විශේෂය පමණක් Dermocheliidae පවුලට අයත් වේ.

ඉහත දක්වා ඇති විශේෂ අතරින්, 
  • Olive ridley,
  • Green turtle,
  • Loggerhead turtle
  • Hawksbill turtle
  • Leatherback turtle. 
යන විශේෂ පහ ශ්‍රී ලංකාවේ දී දැකගත හැකිය.

මොවුන් ධ්‍රැව කලාපයන්හි හැර ලෝකයේ සෑම සාගරයකම පාහේ නොගැඹුරු කලාපයේ සිට ඉතා ගැඹුරු මුහුදු කලාප දක්වා ව්‍යාප්තව ඇත. තවද සමහර විශේෂ හට ඉතා විශාල දුරක් පිහිනා යාමේ හැකියාවක් ඇත. එය කොතරම් ද කිවහොත් උතුරු ඇමරිකාවේ බටහිර වෙරළ තීර වල සිට ජපානයේ නැගෙනහිර වෙරළ තීරයන් දක්වා ගමන් කරයි. තවද එක් ශ්වසන චක්‍රයක දී මොවුන් හට මීටර් 200 ක් වැනි දුරක් කිමිදීමට ද හැකියාව ඇත.

ආහාර විලාසය.

කැස්බෑ විශේෂ වලින් සමහරක් මංශ භක්ෂක වන අතර සමහරක් ශාක භක්ෂක වේ. මංශ භක්ෂක විශේෂ ස්පොන්ජීන්, සීලන්ටරේටාවන් වැනි සතුන් ආහාරයට ගන්නා අතර ශාක භක්ෂක විශේෂ මුහුදු තෘණ වර්ග, ඇල්ගී වර්ග ආහාරයට ගනියි. ආහාර ගැනීම සඳහා මොවුන් හට ශක්තිමත් හනු පිහිටා ඇති නමුත් leatherback turtle ගේ හනු එතරම් ශක්තිමත් නැත.

ප්‍රජනනය.

කැස්බෑවන් ලිංගික පරිණතියට පත්වීම සඳහා වසර 50 ක් පමණ ගත වේ. ලිංගික ප්‍රජනනය මගින් පරම්පරාව බිහි කරයි. මොවුන්ගේ සුවිශේෂී බව වන්නේ ලොව කුමන සාගර කලාපයක ජීවත් වුවත් බිත්තර දැමීම සඳහා ගැහැණු කැස්බෑවන් තමන් උපත ලද වෙරළ කලාපය කරා පැමිණීමයි. එය ඔවුන් කෙසේ සිදුකරන්නේ ද යන්න ප්‍රශ්නයක්ව තිබුන ද නූතන පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ ඔවුන් මග සොයාගැනීම සඳහා පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය උපයෝගී කරගන්නා බවයි. කැස්බෑවන් මුහුදු වෙරළේ රළ කලාපයෙන් ඔබ්බෙහි තරමක් ගැඹුරට හාරන ලද වලක බිත්තර දැමීම සිදුකරනු ලබයි. එම වල හෑරීම සඳහා ඔවුන් ඔවුන්ගේ ගාත්‍රා යොදාගනිමින් මහත් පරිශ්‍රමයක් දරනු ලබයි.  බොහෝ විට බිත්තර දැමීම සඳහා සඳ ඇති දිනයන්හි රාත්‍රී කාලයේ වෙරළ තීරයන් කරා පැමිණෙනු ලබයි. මොවුන්ගේ බිත්තර වල කවචය ඝන ස්වාභාවයක් නොගන්නා අතර ශක්තිමත් මෘදු ස්වාභාවයක් ගනියි. මෙය බිත්තර වියලීමට ඔරොත්තු දීම සඳහා අනුවර්තනයකි. සාමාන්‍යයෙන් එක් වරකදී බිත්තර 120 ක් පමණ දැමීම සිදුකරන අතර වසරකට වාර තුනක දී පමණ බිත්තර දැමීම සිදු කරයි. කැස්බෑවන්ගේ බිත්තර වල ස්ත්‍රී පුරුෂ බව ජානමය වශයෙන් තීරණය නොවන අතර, ඔවුන් බිත්තර දැමීම සඳහා යොදාගන්නා වලෙහි උෂ්ණත්වය මත එය තීරණය වේ. එනම් සෙල්සියස් අංශක 30 ත් 32 ත් පමණ උෂ්ණත්වය ලැබෙන බිත්තර වලින් ගැහැණු කැස්බෑ පැටවුන් ද, සෙල්සියස් අංශක 27 ත් 29 ත් පමණ උෂ්ණත්වය ලැබෙන බිත්තර වලින් පිරිමි කැස්බෑ පැටවුන් ද වශයෙන් උපත ලබයි. සාමාන්‍යයෙන් බිත්තර දැමීමෙන් දවස් 45-60 ත් අතර  කාලයකට පමණ පසු පැටවුන් එළියට පැමිණීම සිදුවේ. එම කාලය විශේෂය මත රඳා පවතියි. වල හාරාගෙන එළියට එන පැටවාට මුහුද වෙත ඇති මීටර කිහිපයක දුර ගෙවා දැමීම ඉතා අසීරුය. බොහෝ විට ඒ අතරතුර මොවුන් බල්ලන්, කපුටන් වැනි විලෝපිකයන් හට ගොදුරුවීම සිදුවේ.

කැස්බෑවන් හට ඇති තර්ජන
  • වෙරළබඩ ඉදිකිරීම් හේතුවෙන් බිත්තර දැමීම සඳහා ඇති ස්ථාන අහිමිවීම.
  • කෘත්‍රිම ආලෝක තත්ත්වයන් නිසා කැස්බෑවන් වෙරළ කරා පැමිණීමට බියවීම.
  • විලෝපිකයන් විසින් බිත්තර විනාශ කර දැමීම.
  • බිත්තර වලින් පිටතට පැමිණෙන පැටවුන් විලෝපිකයන් හට ගොදුරු වීම.
  • මුහුදට බැහැර කරන පොලිතින් ආහාරයට ගෙන මියයාම.
  • මුහුදු පත්ලේ ඇති අතහැර දැමු දැල් වල පැටලී මියයාම.
  • මස් හා කැස්බෑ කටු ලබාගැනීම සඳහා කැස්බෑවන් ඇල්ලීම.

කැස්බෑවන් සංරක්ෂණය සඳහා ගත හැකි පියවර
  • කැස්බෑවන්ගේ වැදගත්කම පිලිබඳව ප්‍රජාව දැනුවත් කිරීම.
  • කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඇති නීති නිසියාකාරව ක්‍රියාත්මක කිරීම හා නව නීති ගෙන ඒම.
  • කැස්බෑවන් බිත්තර දැමීමට පැමිණෙන ස්ථානවල ඉදිකිරීම් සිදු කිරීම හා තද ආලෝකයන් භාවිතය තහනම් කිරීම.
  • ප්ලාස්ටික් හා පොලිතීන් මුහුදට බැහැර නොකිරීම.
  • කැස්බෑ සංරක්ෂණ මද්‍යස්ථාන ඇතිකිරීම.

ශ්‍රී ලංකාව තුල හමුවන කැස්බෑවන් විශේෂ

Caretta caretta 

     FAO නාමයන්:      En- Loggerhead turtle
   
    දේශීය නාමයන්:   S – ඔලුගෙඩි කැස්බෑවා, 
                                        කණ්ණාඩි කැස්බෑවා
   
    ප්‍රමාණය: කවචයේ උපරිම දිග සෙන්ටිමීටර 125 කි.

Chelonia mydas

    FAO නාමයන්:       En- Green turtle

   දේශීය නාමයන්:    S – ගල් කැස්බෑවා, 
                                        මස් කැස්බෑවා, 
                                        වැලි කැස්බෑවා

    ප්‍රමාණය: කවචයේ උපරිම දිග සෙන්ටිමීටර 120 කි.

Ertemochelys imbricata

    FAO නාමයන්:        En- Hawksbill turtle

   දේශීය නාමයන්:     S – පොතු කැස්බෑවා, 
                                         ලෙලි කැස්බෑවා, 
                                         පනා කැස්බෑවා

    ප්‍රමාණය: කවචයේ උපරිම දිග සෙන්ටිමීටර 100 කි.

Lepidochelys olivacea

    FAO නාමයන්:         En- Olive ridley turtle

    දේශීය නාමයන්:     S – මඩ කැස්බෑවා, 
                                          එරමුදු කැස්බෑවා, 
                                          පරයි කැස්බෑවා, 
                                          බටු කැස්බෑවා

      ප්‍රමාණය: කවචයේ උපරිම දිග සෙන්ටිමීටර 79 කි.

Dermochelys coriacea

    FAO නාමයන්:         En- Leatherback turtle

    දේශීය නාමයන්:     S – දාර කැස්බෑවා, 
                                          තුන් දාර කැස්බෑවා, 
                                          වවුල් කැස්බෑවා, 
                                          තෙල් කැස්බෑවා, 
                                           නැව් කැස්බෑවා

    ප්‍රමාණය: කවචයේ උපරිම දිග සෙන්ටිමීටර 180 කි.








Comments

Popular posts from this blog